නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ඵේණූපමං කායමිමං විදිත්වා
මරීචිධම්මං අභිසම්බුධානෝ
ඡේත්වාන මාරස්ස පප්පුඵකානි
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

සැදැහැවත් පින්වතුනි,

අමෘත මහා නිර්වාණය - අමාමහ නිවන, - හැම බෞද්ධයකුගේම උතුම්ම ප්‍රාර්ථනාවයි. පරමාර්ථයයි. මේ ‘අමෘත’ කියන වචනය හැම කෙනෙකුගේම කණට ප්‍රියයි. හැම කෙනෙක්ම මේ අමෘත කියන වචනයට මේ තරම් ප්‍රිය බවක් දක්වන්නේ මක් නිසාද? මේ ලෝකයේ උපදින හැම සත්ත්වයෙකුටම මුහුණ දෙන්ට සිදුවන මරණය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයට විසඳුමක් මේ අමෘත කියන වචනය තුළ පෙනෙන නිසයි. හැඟෙන නිසයි. මනුෂ්‍යයින්ට පමණක් නොවෙයි, දෙවියන්ට බ්‍රහ්මයින්ට පවා ප්‍රිය වචනයක් අමෘත කියන එක. ඒ කියන්නෙ, කල්ප ගණන් හිටියත් කවදාහරි එයින් චුතවෙන්න වෙනවා. මැරෙන්න වෙනවා. අන්න ඒක නිසා මේ අමෘත කියන වචනය බොහොම ප්‍රියමනාප වචනයක්.

එතකොට අපේ මේ ලොවුතුරා බුදු පියාණන් වහන්සේට අපි මේ ගරු කරන්නේ මක්නිසාද? මේ තරම් මේ ලෝකයා - දෙව් මිනිසුන් සහිත ලෝකයා - බලාගෙන සිටිය මේ මරණය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ නිසයි. ඒකට තමයි අමාමහ නිවන කියල කියන්නෙ.

බුදු පියාණන් වහන්සේ මාර පරාජය කළ බව අපි දන්නවා. මේ මාර පරාජය කළා කියන එකේ තේරුම මොකද? බුදු පියාණන් වහන්සේ සොයාගත්ත මාරයාට නොපෙනෙන තැනක්. මාරයාට හසු නොවෙන තැනක්. ඒකට තමයි මේ නිර්වාණ ධාතුව කියල කියන්නෙ. අමාමහ නිවන කියල කියන්නෙ. අසංඛත ධාතු ආදි වචනවලින් හඳුන්වන්නේ. මාරයාට නොපෙනෙන, මාරයාට දකින්න බැරි විදියේ යම්කිසි ලෝකෝත්තර තත්ත්වයකට හිත පමුණුවා ගැනීමෙන් තමයි මරණය ජය ගන්නෙ. බුදු පියාණන් වහන්සේ ඒ අමෘත තත්ත්වය, අමෘත මහා නිර්වාණය, ප්‍රත්‍යක්ෂ කර ගත්තා පමණක් නොවෙයි, ලෝකයාට ඒ තත්ත්වයට පැමිණීමට, තම තමන්ගේ චිත්ත සන්තානය තුළ මාර පරාජය කරලා ඒ අමෘත තත්ත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අදාළ, උපකාරවන, උපදෙස් මේ ධර්මයෙන් ඉදිරිපත් කරලා තිබෙනව. දැන් අපි මේ අද මාතෘකා කළ ගාථාවේ දැක්වෙන්නෙත් ඉතාම කෙටියෙන්, මේ අමෘත තත්ත්වයට හිත පමුණුවා ගැනීමට උපකාර වෙන විදර්ශනා උපදෙසක්.

මේ ගාථාධර්මය දේශනා කරන්ට යෙදුනේ බුදුපියාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන ඈත කැලෑවකට විදර්ශනා වඩන්ට ගිය එක්තරා සංඝයාවහන්සෙ කෙනෙකුටයි. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන එහෙම කැලෑවකට ගිහිල්ලා බොහොම මහන්සිවෙලා භාවනා කළ නමුත් රහත් වෙන්ට බැරි උනා. පස්සෙ හිතාගත්ත මම නැවතත් බුදුපියාණන් වහන්සේ හමුවෙලා කර්මස්ථානය ශුද්ධකර ගන්ට ඕන. විශේෂ උපදෙස් ගන්ට ඕන කියල හිතාගෙන දුරු මග ගෙවාගෙන එන අතරේ දුටුවා මිරිඟුවක්. ග්‍රීෂ්මකාලේ - දැන් මේ වගේ මේ පායන කාලවල - කෙනෙකුට දකින්ට පුලුවන් දෙයක් තමයි මිරිඟුව කියන එක. අර පොළොවෙන් උඩට වාෂ්ප වගේ, වතුරක් ගලන්න වගේ, පෙනෙන ඒ දර්ශනය. මේක දැක මේ ස්වාමීන්වහන්සේ කල්පනා කළා මේ මගේ ආත්ම භාවයත් - මේ කයත් - මිරිඟුවක් වගේ කියල. මේක, මිරිඟුව කියන එක, ඇත තියෙනවා වගේ - ඇත්ත දෙයක් අල්ලගන්න පුලුවන් දෙයක් - හැටියට පෙනෙනවා. නමුත් මේ මිරිඟුවේ ස්වභාවය - ළඟට ගියහම ඒක නෑ. අන්න ඒ වගේ දැන් මෙතන මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම මේ ස්වාමීන් වහන්සේට පෙනුනේ මේක මිරිඟුවක් කියල. මේ ශරීරයේ පෙනෙන ආකාරය නොවෙයි ඇත්ත වශයෙන් තිබෙන්නෙ. මේ ඇතිවීමේ නැතිවීමේ ස්වභාවයයි. ඇතිවෙන තැනට ගිහිල්ලා බලනකොට එතනින් නැතිවෙනවා. ඊළඟට, ඒ විදියට මිරිඟුව ගැන හිත හිතා ඇවිල්ලා අචිරවතී නමැති ගඟ ළහට පැමිණිලා කයේ වෙහෙස, ගිමන්, නිවා ගන්න පැන් පහසුවෙලා ගඟේ වතුර බොහොම වේගයෙන් ගලන තැනක ගහක් යට සංසුන්ව ඉඳගෙන බලාගෙන හිටියා මේ ගඟේ සැඩ වතුර පාරට පෙණ පිඩු හැඳී හැදී නැතිවෙල යන ආකාරය. මේකත් ඒ ස්වාමීන් වහන්සේට කමටහනක් උනා. කල්පනා කළා. මේ මගේ රූපය, මේ ශරීරය, මේ කය, ආත්මභාවය, මේකත් පෙණ පිඩක් වගෙයි කියලා. ඒ ගැන කල්පනා කරන අවස්ථාවේදී ඔන්න බුදුපියාණන් වහන්සේ - සාමාන්‍යයෙන් බුදුපියාණන් වහන්සේ බුද්ධඥානයෙන් බලාගෙන සිටිනවා තමන් වහන්සේ ඒ කමටහන් දුන්න සංඝයා වහන්සේලාගේ චිත්තාචාරය, හිත වැඩකරන ආකාරය - බුදු පියාණන් වහන්සේට පෙනුනා දැන් මේ ස්වාමීන්වහන්සේගේ, මේ නමගේ, සිත මොරලයි තියෙන්නෙ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පෙනී සිටලා - ඒ තමන්ගේ ගන්ධකුටියේදිම බුදු පියාණන් වහන්සේ මේ සංඝයාවහන්සේට ඇතිවුන සිතිවිල්ල දැකලා ඉදිරිපිට පෙනී සිටලා - අර අපි කලින් ප්‍රකාශ කළ ගාථා ධර්මය වදාළා.

ඵේණූපමං කායමිමං විදිත්වා - මරීචිධම්මං අභිසම්බුධානෝ
ඡේත්වාන මාරස්ස පප්පුඵකානි - අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

ඒ සංඝයාවහන්සේට ඇතිවුන, ඒ ස්වාමීන් වහන්සේට ඇතිවුන, විදර්ශනා පිළිබඳ අදහස සහතික කරමින්, ඒක ඇත්තෙයි කියන හැඟීම දෙමින් තවත් ධෛර්යවත් කරමින්, බුදු පියාණන්වහන්සේ වදාළා -

‘ඵේණූපමං කායමිමං විදිත්වා’
මේ කය පෙණ පිඩකට උපමා කළ හැකි බව දැනගෙන,

‘මරීචිධම්මං අභිසම්බුධානෝ’
මේ ශරීරයේ ඇති මිරිඟු ස්වභාවය නුවණින් වටහාගෙන, හරියාකාර තේරුම් අරගෙන,

‘ඡේත්වාන මාරස්ස පප්පුඵකානි’
කෙලෙස් මාරයා විදින මල්සර, එහෙම නැත්නම් මලින් සැරසූ මල් තුඩක් සහිත ඊතල පහර කපාහරිමින්,

‘අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ’
මාරයාගේ දර්ශන පථයට හසුනොවෙන තැනකට යන්න - කියල ඒ විදියට බුදු පියාණන් වහන්සේ උපදේශයක් දුන්නා. ඒ උපදේශය අහලා අර ස්වාමීන් වහන්සේගේ විදර්ශනා ඥාන මෝරලා
ගිහිල්ලා සිවු පිළිසිඹියාපත් රහතන්වහන්සෙ කෙනෙක් බවට පත්වුනු බව සඳහන් වෙනවා.

එතකොට මේ ආශයෙන් අපි - මේ ගාථාව ආශ්‍රයෙන් - මෙකෙ ඇති ධර්ම කාරණා තේරුම් කරන්න උත්සාහ කරමු.

මේ කය පෙණ පිඬකට උපමා කිරීම - බුදු පියාණන් වහන්සේ රූපය පෙණ පිඬකට උපමා කරලා තියෙනවා. මේක කොයිතරම් සහේතුකද - හේතු සහිතද - කියන එක අපි ටිකක් කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේ රූපය පෙණ පිඬකට උපමා කළේ ඒක ගැන හිතන්න හිතන්න, ගැඹුරට හිතන්න හිතන්න, කෙනෙක් නිර්වාණයට ළං වෙනවා කියල. දැන් පෙණ පිඩක් කියන එක අර වේගයෙන් ගලායන වතුර පාරක මොකක් හරි හිර උනහම ලී කොටයක් එහෙම, අර කුණු කන්දල් ආදිය එකතුවෙලා වතුරෙන් ඒවා ගසාගෙන යන අතරේ එයින් පෙණ නැගෙනවා. ඒ පෙණ පිඬ ඇතට පෙනෙන්නෙ ඝන සංඥාව අනුව යම්කිසි ඝන දෙයක්, - නිත්‍ය දෙයක් - හැටියට, සාරවත් දෙයක් හැටියට පෙනෙනවා. නමුත් කිට්ටුවෙලා බලනකොට මේක නිස්සාර දෙයක්. මේක හිස් දෙයක්. ඒ වගේම ඉතාම සුළු වේලාවක් ඇතිව පවතින ස්වභාවයක් මේ පෙණපිඬේ තියෙනව. පෙණපිඬ දිහා ඉතාම සූක්ෂ්ම අන්දමින් බැලුවොත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව නැතිවෙන බුබුලු ගොඩක් වගෙයි. මේ ශරීරයත් ඒ වගේ දෙයක්. නමුත් රූපය වශයෙන් බලනකොට අපට පෙනෙන්නෙ අපි අර මිරිඟුව ගැන කිව්ව වගේ දෙයක්. මේකේ මිරිඟු ස්වභාවය මොකක්ද, මේක ඇතට පෙනෙන්නෙ ඉතාම ප්‍රියමනාප නිත්‍ය දෙයක් හැටියට. නමුත් මේ ශරීරය ගොඩ ගැහිලා තිබෙන්නෙ අන්න අර පෙණ පිඬක් වගේ. අපි දන්නවා මේ ශරීරය තුළට නානාප්‍රකාර දේවල් - ආහාර පාන - වැටෙනවා. කිරි, කැඳ, බත් - ඕව පෙණ ගහ ගහ ඒ කුස්සියෙ පැහිල තමයි මේ ශරීරයට වැටෙන්නෙ. ශරීරයට වැටුනට පස්සෙ - තව තවත් පෙණ ගහගහ මේව පැහෙනව. මේව පැහිල, මේ පෙණ උතුරල ගිහිල්ල තමයි ලේ මස් ඇට නහර ආදිය සැදෙන්නෙ. ඒව හැදුනට පස්සෙ - මේ පෙණ උතුරලා ගිහිල්ල අර ඒ විදිහට - ශරීරයෙ අපි තබාගන්න කැමති ටිකට අපි බොහොම අලුම්කරල මමය මාගේය කියල බොහොම අඩම්බරයෙන් හැඩ වැඩ දමල සරසල කවල පොවල මේ ශරීරය සකස් කර ගන්නව. ඒ පෙණවල අර ඉතුරුවෙන හරිය, පිටට ගලන හරිය, මල මුත්‍ර දහඩිය ආදිය අපි හෝදලා අරිනව කුණු කන්දල් හැටියට. ඔය විදියේ තත්ත්වයක් මේ ශරීරය පිළිබඳ පෙණ පිඬේ තිබෙන්නෙ, කල්පනා කරලා බැලුවහම. බුදු පියාණන් වහන්සේ වදාළ හැටියට මේ දෙතිස් කුණප කොට්ඨාසයම එකතුවෙලා තිබෙන්නෙ ඔන්න ඔය විදියටයි. මේ ශරීරයෙ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ මූල ධාතු ආශයෙන් මේ ශරීරය තුළ තිබෙන අර පැසවන ස්වභාවය නිසා පෙණ ගැහී ගැහී මේ ශරීරය අවුරුදු ගණනාවක් තිස්සේ වැඩෙනව. මේක පෙණ පිඬක්. ඉතින් අන්න ඒ කයේ පෙණපිඬ පිළිබඳව හරියාකාරව තේරුම් අරගෙන - “ඵේණූපමං කායමිමං විදිත්වා”

ඒ වගේම මෙකෙ මිරිඟු ස්වභාවය කියල කියන්නෙ මෙක ඇතට පෙනෙන්නෙ, නුවණැසින් බලන්නෙ නැත්නම් මේක පෙනෙන්නෙ, හොඳ ප්‍රිය මනාප දෙයක් හැටියට. දැන් ඡායා රූපයක් ගත්තත්, කණ්නාඩියක් දිහා බැලුවත් සාමාන්‍ය පියවි ඇසට - අපි පියවි ඇස කියල කියන්නෙ ප්‍රකෘති ඇස, අපේ සාමාන්‍ය ඇස - ඒ ඇස යොදල බලන කොට මේක බොහොම ප්‍රිය මනාප රූපයක් හැටියටයි අපට පෙනෙන්නෙ. තමන්ගෙ රූපයත් අනුන්ගෙ රූපත්. ඉතින් මේ පියවි ඇසට නොපෙනෙන දේවල් බලන උපකරණ ලෝකයේ තිබෙනවා, මාධ්‍යමය වශයෙන් බලනවා නම්, ඔය අණු දක්න ආදිය. ඒවායින් කෙරෙන්නෙ මොකද්ද? සියුම් දේ ලොකු කරලා බලන එක. සියුම් දේ ලොකු කරලා බලනවා, ඒක විකෘත කිරිල්ලක්. නමුත් ඒකෙන් අපි සෑහීමකට පත්වෙනවා “ඔන්න මම සියුම් දෙයක් දැක්ක” කියල. නමුත් ප්‍රඥාව කියන එක - විදර්ශනා ප්‍රඥාව කියන එක - ඒකෙන් බලන්නෙ එහෙම නෙවෙයි. සියුම් දේ සියුම් දේ හැටියටම දැක ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂයක්. සියුම් දේ සියුම් දේ හැටියට ප්‍රත්‍යක්ෂකර ගැනීමෙනුයි ඒක තහවුරු වෙන්නෙ. එහෙම නැති නම් අර උපකරණය තියෙනතාක් අපිට පෙනෙනවා ඒක. උපකරණය අහක් කරහම නෑ. ඔන්න ඔය විදියෙ වෙනසක් තිබෙනව ලෝකයේ මේ දැකීම පිළිබඳවත් - විදර්ශනාව කියල කියන්නෙ විශේෂ දර්ශනයක් - අන්න ඒ විදර්ශකයාගේ දැකීම පිළිබඳවත්.

ඔය විදියට රූපය පෙණපිඬක් බව තේරුම් ගන්න මෙකේ කොටස් අර අණුදක්නය යටට දැමීමට වෙහෙසෙන්න ඕන නෑ. විය හියදම් කරගන්න ඕන නෑ. මේ රූපයේ යම්කිසි කොටසක් - කෙස් ලෝම් ආදියෙන් එක කෙස් ගසක් හෝ තමන්ට වඩාත් පිළිකුල් හැටියට වැටහෙන මේ දෙතිස් කුණප කොට්ඨාසයෙන් කෙස්, ලොම්, නිය, දත් ආදී යම්කිසි දෙයක්, කමටහනක් හැටියට සමථ වශයෙන් නිතර මෙනෙහි කිරීම තුළින්, එහි සිත රඳවාගැනීම තුළින් - ඒකාග්‍රතාව මගින්, එය ගැඹුරට දැකීමෙන්, ඔන්න එතකොට තේරෙනවා. අර විදර්ශනා වශයෙන් ඊළඟට මෙකෙ තිබෙන ධාතු ස්වභාව ආදිය දැකීමට අවස්ථාවක් සැළසෙනවා. අශුභ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේක පිළිබඳව තියෙන ඇල්ම ඉවත් කරලා මෙකේ යථා තත්ත්වය වටහාගන්න පුලුවන් වෙනවා, විදර්ශනා ඥාන මොරගෙන යනකොට. “නිබ්බේධිකා පඤ්ඤා” කියල වචනයක් තිබෙනවා. පින්වතුනි, “නිබ්බේධිකා පඤ්ඤා” කියල කියන්නෙ මේ විනිවිද යන ප්‍රඥාව. ප්‍රඥාව කියන එක විනිවිද යන දෙයක්. දැන් අපි මේ ශරීරය ගැන හිතුවහම අපි බොහෝ විට යෙදනවා ශරීර කූඩුව කියල. ඇත්ත වශයෙන්ම මෙක කූඩුවක්ම නමයි. මේ ශරීර කූඩුව ඇතුළේ හිත හිරවෙලයි තිබෙන්නෙ. කූඩුව මේ මාරයා හදාපු කූඩුවක්. මාරයා මවන කූඩුවක්. මාරයා මවාපු මේ ශරීර කූඩුව තුළ හිත හිරවෙලායි තිබෙන්නෙ. ඉතින් හිතේ විමුක්තිය ලබාගැනීමට තමයි, නිවන් දැකීමට තමයි කෙනෙක් වෙහෙසෙන්නෙ. ඥානවන්ත පුද්ගලයා වෙහෙසෙන්නෙ. මේ නිවන් දැකීම කියල කියන්නෙ මොකක්ද? මේ කූඩුව විනිවිද දැකීමයි. මේ කූඩුව විනිවිද දැකීම තුළිනුයි හිත විමුක්ත වෙන්නෙ. අන්න ඒ විනිවිද දැකීමයි ඔය විදර්ශනාවෙන් කෙරෙන්නෙ.

මේ ප්‍රඥාව කොයිතරම් ද කියතොත් මේක උපමා කරලා තියෙනවා වෛරෝඩියකට . දැන් ඔය වජ්‍ර මාණික්‍යයක් කියන එක අනිකුත් මැණික් කපන්න පුළුවන් දෙයක්. අනික් මැණික් කපන්න පුළුවන් තරම් ශක්තියක්, තියුණු බවක් තියෙන එකක් තමයි වජ්‍ර මාණික්‍ය. මේ විදර්ශනා ඥානයත් වජ්‍ර මාණික්‍යක් වගේයි. විනිවිද යනවා. විනිවිද දකිනවා. විනිවිද දකින්නෙ මෙකෙ - දැන් අනිත්‍යතාව දකිනවා කියල කියන්නෙ අනිත්‍යතාවේ පැති දෙකක් තියෙනවා - පෙති දෙකක් තිබෙනවා. ඇතිවීමයි - නැතිවීමයි. පටන් ගන්නෙ මේකෙ ඇතිවීම් ස්වභාවයයි නැතිවීම් ස්වභාවයයි මෙනෙහි කිරීමෙන්. මෙකෙ ගැඹුරට යනකොට ඒක තුළින් විනිවිද දකිනවා මෙතන ඇති දෙයක් නෑ කියන එක. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, නිස්සාර බව ඒ තුළින් දකින්න පුළුවන් වෙනවා මේ ක ගැඹුරට ගැඹුරට යන්න යන්න. එතකොට ඔන්න ඕක තමයි - මේ ඇතිවීම් නැතිවීම් දැකීමයි - මේ ‘වජ්‍ර මාණික්‍යයේ’ ක්‍රියාකාරීත්වයේ මුල් අවස්ථාව. විදර්ශනා ප්‍රඥාව. ඔය විදියට දැකලයි එතකොට මේක පෙණ පිඬක් හැටියට වටහාගන්න පුළුවන් වෙන්නෙ. වෙන කෘත්‍රිම උපකරණවලින් නෙවෙයි. වෙන කෘත්‍රිම දේවල්වලින් නෙවෙයි. ඒකට හැබැයි ඉඟිය අපට මේ ස්වභාව ධර්මයෙන් ලැබෙනව. නිදර්ශන මාර්ගයෙන්. අතීතයේ බුද්ධ කාලයේ ඒ බුදු පියාණන් වහන්සේ දක්වූ උපමා ටික තමයි මේ සංඝයාවහන්සේලා භාවනා කරන්න යනකොට කැලේට අරගෙන ගියෙ. වෙන පොත්පත් නෙවෙයි. වෙන පොත් පත් කරගහගෙන ගියේ නෑ. ඒ උපමාම ප්‍රයෝජනවත් වුනා. මොකද, උපමාවක තියෙනවා මහා ග්‍රන්ථයක තියෙන කාරණා රාශියක්, නමුත් ඒක හසු වෙන්නෙ - ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ - ගැඹුරෙන් ගැඹුරට යන්න යන්න. මේ පෙණ පිඬක් කියන එක සාමාන්‍යයෙන් කිව්වහම මේක කොතනත් දකින්න පුලුවන් දෙයක් ගඟක් දිහා බැලුවහම. ඒක බලලා අහක් බලාගත්තොත් ඊට එහාට යන්නෙ නෑ. නමුත් ඒ උපමාව විතරක් නෙවෙයි උපමේය. ඒ උපමාව අනුව මේක මොකටද බුදු පියාණන් වහන්සේ උපමාකරලා තිබෙන්නෙ? මෙක මේ ශරීරයට. බැලූ බැල්මට මේක හැබැයි පිළිගන්න බැරි බවක් පෙනෙනවා. නමුත් හිත ගැඹුරට මේකට යොදල, මෙනෙහි කිරීම යොදලා, කල්පනා කරන්න ඕන. මේකට නිතර හිත යොදවන කොට ඔන්න කොයිතරම් සත්‍යද බුදු පියාණන්වහන්සේ වදාළේ කියන එක වැටහෙනවා.

ඔන්න ඔය විදියට එතකොට විදර්ශනා ඥාන බලාපොරොත්තුව ඇතිව අර කියපු අමෘත තත්ත්වයට - අර මාරයාට නොපෙනෙන තැනට - යන්න බලාපොරොත්තුවෙන කෙනා කළ යුත්තේ අර විදර්ශනා ඥාන තියුණු කර ගැනීමයි. “ඵේණූපමං කායමිමං විදිත්වා.” ඉතින් ඒ වගේම මෙකෙ තිබෙන මිරිඟු ස්වභාවය ගැන කල්පනා කරලා බැලුවත්, දැන් මිරිඟුවෙහි තිබෙන අර ලක්ෂණය ගැන අපි කලින් කිව්වා. මුවා රැවටෙනවා ඒකට. මුවා තමයි බොහෝ දුරට අඥාන සත්ත්වයෙක් හැටියට ඒ ඈත පෙනෙන නිසා ග්‍රීෂ්ම කාලේ වතුර වගේ, එතෙන්ට දුවගෙන යන්නෙ. යනකොට එතන ඒක නැහැ. නමුත් ගත්තු දෘෂ්ටිය අනුව තවත් ඈතට පෙනෙනවා. ඉතින් ඒ විදියටම දිගටම දුවලා අන්තිමට හතිවැටෙනකම් දන්නෙ නෑ. අන්න ඒ විදියේ තත්ත්වයක්. දැන් මේ රූපය පිළිබඳවත් ඒකයි. ලෝකයා මේ රූපය පිළිබඳව ඇලුම් කිරීම - මේක මේ මාරයාගේ වැඩක්, කෙලෙස් මාරයාගෙ වැඩක්. මේක පෙන්නුම් කරන්නෙ හැම තිස්සෙම ශුභ දෙයක් හැටියට. ඒක තමයි බුදු පියාණන්වහන්සේ දක්වලා තියෙන්නෙ ලෝකය විපරිත අදහස් හතරක් තුළ හිරවී සිටිනවා කියල. “විපල්ලාස” කියල කියනවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. අසුභ දේ සුභ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම - තමාගේ නොවන දේ - තමාගේ හැටියට සලකනවා. ඔන්න ඔය විදිහේ විපරීත තත්ත්වයක්, විපල්ලාස තත්ත්වයක්, ලෝකයේ තිබෙනවා. ඒක අනුව අර පෙණ පිඩත්, නිත්‍ය දෙයක්, බොහොම අලංකාර දෙයක් ලබාගත යුතු දෙයක්, සාරවත් දෙයක් වගේ පෙනෙනවා. මිරිඟුව පිළිබඳවත් ඒ වගෙයි. වතුරෙයි කියලා හිතාගෙන පිපාසිත මුවාට ඒ වතුර බොන්න ඕනකම නිසා ඈතට යනවා. තෘෂ්ණාව කියල කියන පිපාසය නිසාම බොහෝ විට අර ඈත පෙනෙන දර්ශනය ඒ සතා දෘෂ්ටියක් හැටියට ගන්නවා මේ වතුරමයි වෙන දෙයක් නෙවෙයි කියල. ඒ දැඩිව ගත්තු දෘෂ්ටිය නිසාත් ඊළඟට ඒක අනුව ඇතිකර ගත්තු සිතුවිලි නිසාත් ඒ මුවා දුවනවා.

ඉතින් ඔය විදියට විපල්ලාස කියන මේ විපරිත අදහස් තුන් මට්ටමකින් ක්‍රියා කරනවා කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියල. සඤ්ඤා විපල්ලාස කියල කියන්නෙ හැඳිනීම. මුවා හැඳින ගන්නවා අර ඈත පෙනෙන මිරිඟුව වතුර හැටියට. ඊළඟට ඒ හැඳිනීම අනුව සිතිවිලි රාශියක් ඇතිකර ගන්නවා. “අන්න එතෙන්ට ගියොත් තමයි මට වතුර ටිකක් බොන්න ලැබෙන්නෙ” කියල. ඒ සිතිවිලි, ඒ බලාපොරොත්තු, පැතුම් - ඒවා නිසා තමයි මුවා දුවන්නෙ. අර ඈත පෙනෙන එක අනුව දෘෂ්ටියක් ඇතිකර ගන්නවා. මේක වතුරමයි, මෙතන නැති උනත් අර ඈත - තවත් ඈතට ගියහම පෙනෙනවා. පෙනෙන නිසාම මේක ලබාගන්නම පුළුවන්. ඉතින් මෙන්න මේ විදියෙ මේ මිරිඟු ස්වභාවය මේ ශරීරය පිළිබඳවත් එහෙමයි. ශරීරයට උපකාර වෙන අනිකුත් සුඛෝපභෝගී දේවල් පිළිබඳවත් එහෙමයි. දැන් එදිනෙදා ජීවිතයේදී අපි දන්නවා මේ කියන කාරණා තුන ක්‍රියාත්මක වෙන ආකාරය. සමහරවිට තමන්ගේ අසල්වැසියා නවතම සුඛෝපභෝගී භාණ්ඩයක් එයාගේ නිවසට ගෙනෙනවා. මේක දැකලා හිතාගන්නවා මේක කොහොමහරි මමත් ලබාගන්ට ඕන කියලා. මේක තමයි ඉතින් මිරිඟුව. ‘මේක ලබාගත්තු දවසට මමත් මිනිහෙක්’ කියල හිතා ගන්නවා. හිතාගෙන ඉතින් ඒක වෙනුවෙන් ණය වෙනවා. ණයතුරුස් වෙලා හම්බුකරලා කොහොමහරි ඒ සුඛෝපභෝගී භාණ්ඩය, අර විසිතුරු කාමරයේ තිබුණු ඒ භාණ්ඩය, තමනුත් ලබා ගන්නවා. ඒ ලබා ගන්න කොට අසල්වැසියගේ ඒ භාණ්ඩය මුළුතැන්ගෙට ගිහිල්ලා, කුස්සියට ගිහිල්ලා, වෙන භාණ්ඩයක් ඇවිල්ලා, ඊළඟට ඉතින් ඒක ලබාගන්න බලනවා. ඔය විදියේ මිරිඟුවක් ඔස්සේයි ලෝකයා දුවන්නෙ. මේ ශරීරය පිළිබඳවම වගේම මේ ශරීරයට උපකාරවෙන සුඛෝපභෝගී භාණ්ඩ ආදිය පිළිබඳවත් ඔය විදියේ තෘෂ්ණාවකින්, බරපතල තෘෂ්ණාවකින් ලෝකයා මුළු ජීවිතයම ගෙවනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයක්. මෙක සිදුවෙන්නෙ මේ මාරයා නිසා. අන්න ඒ හරිය තමයි ඊළඟට ගාථාවේ සඳහන් වෙන්නෙ.

“ඡේත්වාන මාරස්ස පප්පුඵකානි” මාරයාගේ අර මල්සැර, එහෙම නැත්නම් මල්තුඩ ඇති හී සැර, ඒවා කපා හරිනවා. මෙතන ගැඹුරු අදහසක් කියැවෙන්නෙ. මොනවද මේ ඊසැර කියන්නෙ? කෙලෙස් මාරයා මේ ඊතල විදින්නෙ අපේ ඉන්ද්‍රිය හයටයි. ඇස, කණ, නාසය, දිව, කය, සිත කියන මේවාට එන අරමුණු, එන කෙලෙස් අරමුණයි මෙතන මේ දක්වලා තියෙන්නෙ. ඒ කෙලෙස් අරමුණු හොඳ මුහුණුවරින් එන නිසා ඒවා අර මල්සැර හැටියට දක්වනවා. ඒ මල්සැර - ඒවා හරියට කපා හරින්න බැරි නම් - ඊතලය දිහා බලන්නෙ ඊතලයේ ඉස්සරහ මලක් තිබෙන නිසා. නමුත් මල දිහා බැලුවට මොකද ඇවිල්ලා අහේ ඇනෙන්නෙ. ඒ වගේ දෙයක් මෙතන තිබෙන්නෙ. ඉතින් ඔය කෙලෙස් ස්වභාවය කපා දැමීමට මොකක්ද උපකාර කරගන්නෙ? ඒත් අර අපි කලින් කියාපු වජ්‍ර මාණික්‍යමයි. විදර්ශනා ප්‍රඥාවමයි. ඒකට කියන්නෙ ‘විදර්ශනා මනසිකාරය’ කියල - මෙනෙහි කිරීම. විදර්ශනා මනසිකාරය තුළින් තමයි මෙන්න මේ කෙලෙස් අරමුණු කපාහරින්න පුළුවන් වෙන්නෙ. සාමාන්‍යයෙන් මෙනෙහි කිරීම කියන එකෙන්, මෙනෙහි කිරීම තුළින්, සාමාන්‍ය ලෝකයා වගේ - ඒ කියන්නෙ අඥානව - මෙනෙහි කළොත් වෙන්නෙ, කෙලෙස්වලට යටවෙලා මෙනෙහි කළොත් වෙන්නෙ, ඒ අරමුණ අනුව තවත් නොයෙකුත් නිමිති අරගන්නව. අරමුණක් එන්නෙ නිකන් නෙවෙයි, නිමිති අරගෙන. හිතට, කෙලෙස් නොයෙකුත් නිමිති දෙනවා. මේක සුභයි. මේක නිත්‍යයි. සැපයි. සැප ගෙන දෙන එකක්. ශුභ දෙයක්. මෙක මගෙයි කියල ඒ හැඟීම් දෙනවා.

ඒ වගේම ඒකෙ ප්‍රිය මනාප ස්වරූපයක් තිබෙනවා. ඒ අනුව ආශාවන් වඩවන ස්වභාවයක් මේ ඉන්ද්‍රිය අරමුණුවල තිබෙනවා. මෙන්න මේ අරමුණෙහි ඇති මේ හිත අලවන ස්වභාවය, ඇලීම් ස්වභාවය, බැඳීම් ස්වභාවය, කපා හැරලා අරමුණු විනිවිද දකින්න පුලුවන් වන්නෙ විදර්ශනා ප්‍රඥාවෙන්. අන්න ඒ විදියටයි එතකොට මාරයා විඳින මේ කෙලෙස් ඊතල - මේ කෙලෙස් අරමුණු - කපා හරිනවා කියල කියන්නෙ. ඒ විදියට ඉතාම ශීඝ්‍රයෙන් මේ අරමුණ මෙනෙහි කරන්නෙ ඒ අර නිමිතිවලට යටවීමට නොවෙයි. බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමට මේ අරමුණු උපකාර කරගන්නව. ‘අන්න ඒක ආවා. මෙන්න පැවතුනා. ඔන්න ගියා.’ අරමුණ ආවා, පැවතුනා, ගියා. ඔය තුළින් තේරුම් ගන්නෙ මොකක්ද? කොයි තරම් ඇත්තද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය ස්වභාවය. ඊළඟට ඒක තුළින්ම දකිනවා මෙකට ඇල්මක් ඇතිකර ගත්තොත් ඒ එක්කම තියෙන්නෙ මේකෙන් වෙන්වීම නිසා ඇතිවන ශෝකයයි. භයයි. සන්තාපයයි.

දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔය විදර්ශනා ඥාන තුළ තිබෙන්නෙ අපි මේ සංසාරයේ අනන්ත කාලයක් ලැබූ අත්දැකීම් සම්භාරයමයි. මේ අත්දැකීම් සම්භාරය ඉතාම සුළු ක්ෂණයකට යොදලා අර විදුරු මිණක් වගේ කපාගෙන යන තත්ත්වයකට පත්කරල තමයි මේ සංසාරයෙන් මිදෙන්න පුලුවන් වන්නෙ. භවයෙන් මිදෙන්න පුලුවන් වන්නෙ. බුදු පියාණන්වහන්සේ දෙන විසඳුම මෙකකද? සාමාන්‍ය ලෝකයා හිතන විසඳුම නොවෙයි.

සාමාන්‍ය ලෝකයා හැම දෙයකම දකින්නෙ තණ්හාවක්, අල්ලාගැනීමක්, තණ්හා උපාදාන කියල කියනව. තෘෂ්ණාවෙන් අල්ලා ගන්නව. මේ අල්ලා ගැනීම තුළිනුයි සාමාන්‍ය ලෝකයා ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ. අපි දන්නවා දැන් කුඩා දරුවෙක් බයක් එනකොට මවුගෙ ඇඟේ එල්ලෙනව. මවු සමහර විට ඒ තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ ඇඟේ එල්ලෙනව. හොරෙක් එහෙම එනව නම්, මරන්න කෙනෙක් එනව නම්, ඒ අය සමහර විට ඔය ආරක්ෂක භටයින්ගෙ ඇඟේ එල්ලෙනව. මේ එක එල්ලීමක්වත්, එල්බගැනීමක්වත්, ස්ථීර නැති බව මේ කාලේ මේ පින්වතුන් හොඳට දන්නවා. මේ අල්ලාගන්න එල්බගන්න ස්වභාවය තුළින් කවදාවත් මාරයා ජයගන්න බැහැ. මරණයෙන් බේරෙන්න බැහැ.

ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ මහ පුදුම විදියෙ, කෙනෙකුට හිතාගන්න බැරිවිදියෙ විසඳුමක් දෙන්නෙ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නෙ මාරයාගෙන් බේරෙන්න නම් මාරයා අදින කොට අත හරින්න කියල, මාරයා අදිනකොට අතහරින්ට ඕන. මොකද, මාරයා අදිනකොට අදින ඒ ගැම්ම තුළ තියෙනවා අර ශෝකය, භය, සන්තාපය, විලාපය ගෙන දෙන චිත්ත තත්ත්වයක්. යම්කිසි කෙනෙක් දැඩිව යම්කිසි දෙයක් ග්‍රහණය කර ගත්තොත්, අල්ලගත්තොත්, ඒ අල්ලගත්ත දෙය අදිනකොට ඒක තුළින් ඇතිවෙනවා භයක්, සන්තාපයක්, ශෝකයක්. අපි හිතමු කටු අත්තක එල්ලුනා කියල. ඒ කටුඅත්ත අදින කොට මේ තැනැත්තගේ අතත් තුවාල වෙනවා. ඒ වගේ මේ ලෝකයෙ උපාදාන ගැන බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කළා අල්ලගෙන බේරිය හැකි කිසිම දෙයක් මම මේ භවයේ දකින්නෙ නෑ කියලා. කෙනෙකුට හිතාගන්න අමාරුයි ඒක. එක එක මට්ටමෙන් කෙනෙක් තීරණය කරගන්නවා “මේ ටික විතරක් මම අල්ලගන්නවා” කියල. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අල්ලගන්න තාක් හැම දෙයක් තුළින්ම මාරයාට ගොදුරු වෙනවා කියල. කොයිතරම් ද කියතොත් පින්වතුනි, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා - අපි දැන් බෞද්ධයින් හැටියට නිතර අහල තියෙනවා - මමය මාගේය කියල කියන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියල තියෙන ගොඩවල් පහකටයි කියල. මෙන්න මේ එක එක ගොඩක්ම මාරයා හැටියට බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනව. රූපයත් මාරයෙක්, වේදනාවත් මාරයෙක්, සඤ්ඤාවත් මාරයෙක්, සංස්කාරත් මාරයෙක්, විඤ්ඤාණයත් මාරයෙක්. මේ ඔක්කොම මාරයාට අයිති දේ හැටියට දක්වනවා. එතකොට මාරයාට අයිති නොවන දේ මොකක්ද? මෙන්න මෙයේ අතහැරීමමයි. එතන තිබෙන්නෙ, විමුක්ති සුවය. මෙක අල්ල ගැනීමෙන් ලබන දෙයක් නෙවෙයි.

දැන් අපි මේකට සාමාන්‍ය උපමාවක් ගනිමු. කඹ ඇදිල්ලක් ගැන හිතල බලමු. කඹ ඇදිල්ලකදි මොකද්ද වෙන්නෙ? ආරම්භයේදී අපි දන්නවා ඒ දෙපැත්තේ ඉන්න දෙපිරිස මේ කඹය බඳාගන්නවා පුලුවන් වෙරදාල. තව ඕන නම් ඇඟෙත් දවටා ගන්නවා. මෙක ඩිංගක්වත් හෙල්ලෙන්න දෙන්නෙ නෑ කියල තද අධිෂ්ඨානයකින් කඹේ එල්ලෙනව. එතකොට අර එක පැත්තක්, අපි හිතමු, කොහොම හරි ජය ගන්න පුලුවන් කියල ඒ පැත්ත ඇද්ද කියල. අදිනකොට අර සමහරු බිම වැටිල, හීරිලා, තුවාලවලටත් භාජන වෙනවා අරකෙ එල්ලිලා හිටියොත්. ඒක අපිට හොඳට ප්‍රත්‍යක්ෂ කාරණයක්. නමුත් අර ජයග්‍රහණය පිළිබඳව එතනත් තියෙන්නෙ මිරිඟුව. මිරිඟුව පිළිබඳ හැඟීම නිසා මෙක දැඩිව අල්ල ගෙන ඉන්නව. ජය ගත්තා කියල හිතාගන්නවා. මහා හතියක් මධ්‍යයේ සතුට ප්‍රකාශ කරනවා. ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ විසඳුම හැටියට දක්වන්නෙ. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරන්නෙ ඔය විදියේ දෙයක් නෙවෙයි. මාරයා අදිනකොට අත හරින එකයි. අර විදියට මුළු ගැම්ම දාලා අදිනකොට අතහැරියොත් මොකද වෙන්නෙ? එතෙන්දී මාරයාටයි පීඩනය. මාරයාටයි එතෙන්දි පීඩනය. තමන් නිදහස්. තමන්ට භයක්, ශෝකයක්, සන්තාපයක් විලාපයක් මොකුත් නෑ. අතහැරීම. ඒක එදිනෙදා ජීවිතයේදී කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි මේ අල්ලගෙන ඉන්න දේ තුළ තිබෙනවා දුක දෙන දේ. අපි හිතමු අප අපේ දත් කූටටම ගැන බොහොම ආඩම්බරයි. ඉදිරිපිටම තියෙන දතක් කැක්කුම් දෙනවා. දත් කැක්කුමක් එනවා. දැන් කැක්කුම අපි කොහොම හරි දරාගන්නවා. මේ දත ගියොත් අපේ මූණේ ලොකු අඩුපාඩුවක්. නමුත් දන්ත වෛද්‍යවරයා කියනවා “මේක නරක්වෙච්ච දතක්, මේක කොහොමහරි ගියෙ නැත්නම් අනිත් ඒවටත් පාඩු වෙනවා” කියලා. ඔන්න එදා අර දතට තිබුනු ආසාව අහක් කරලා ඒක උගුල්ලන්න ඉඩ දෙනවා. ඒක ඉගිල්ලුවාට පස්සේ ඔන්න සහනය. අන්න ඒ දත පිළිබඳ කාරණය තමයි දත යුත්තේ. ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙන්නෙ. අපිට මෙක එදිනෙදා ජීවිතයෙ - සාමාන්‍යයෙන් ඔය නිදසුනක් කීවට - එකපාරට වැටහෙන්නෙ නෑ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ අය මෙක ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. අතහරින්න බැරි දේවල් අත හැරිය. මොකද, දැක්ක මේ එක එකක්ම - අර මාරයාගේ සියුම් ඊතල වගේ - එක එකක්ම මාරයාගේ ආරාධනා. අල්ල ගන්න කියල දෙනවා. ‘ඔන්න මෙක අල්ල ගන්න’ කියලා ඊළඟට අදිනවා. ඒක අල්ල ගත්තු හැටියේ අදිනවා.

මෙන්න මේ අල්ල ගැනීම තුළින් - අපි තව මෙක තුළින් ගැඹුරු ධර්මයක් හෙළිකර ගන්න බලමු, මේ උපමාව තුළින්ම. දැන් අර කඹේ අල්ල ගැනීම ගැන අපි කිව්වා. කඹයක් අල්ල ගන්න අවස්ථාවේ කඹ ඇදිල්ලකදි කොයි තරම් උත්සාහයක්, ප්‍රයත්නයක්, වීර්යයක්, එහෙම නැත්නම් ඔරොත්තයක් ඒ වෙනුවෙන් යොදනවද? තැතක් යොදනවද? මේ කඹය අල්ල ගන්න. බදා ගන්න. අන්න ඒ විදියට මේ ලෝක සත්ත්වයා තුළ තිබෙනවා හැම දෙයක් පිළිබඳවම හිතෙන් වචනයෙන් කයෙන් දැඩිව චේතනා, ප්‍රාර්ථනා, බලාපොරොත්තු වශයෙන් එල්බගෙන ඉන්න ස්වභාවයක්. එහෙම නැත්නම් අපි මේක වෙන විදියකට කියනවා නම් ‘අර ඇඳීම්’ රාශියක් තිබෙනවා. ‘අර ඇඳීම්’ කියන වචනය මේ පින්වතුන් දන්නවා. සූදානමක්. ලොකු සූදානමක්, අර ඇඳීමක්, අපේ මේ මුළු මහත් ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට. ජීවිතය එහෙම පිටින්ම ජීවත් වීම සඳහා, ජීවත්ව සිටීම සඳහා, නොමැරී සිටීම සඳහා, දරණ සූදානමක්. අර ඇදීමක්. අර ඇඳීම් සමූහයක්. මේ අර ඇඳීම් ඉවර වෙන්නත් කලින්, මේ අර ඇඳීම් හරියට කරලා ඉවර වෙන්නත් කලින්, මාරයා මේක ඇද ගන්නවා. අන්න ඒ අවස්ථාවෙ ඉතින් අර අපි කලින් සඳහන් කළ ආකාරයට භය, සන්තාප, විලාප මධ්‍යයේ දුක්වලට පත් වෙනව. ‘මම මැරුණා’ කියල හිතා ගන්නවා. හිතාගෙන කොහොමහරි ඊළඟට වෙන තැනක කර්මානුරූපව ඇතිකරගත්තු අර කෙලෙස් නිසා, කෙලෙස් මාරයා නිසා - කර්මානුරූපව තව උත්පත්තියක් ලබනවා. ඊළඟට එතන පදිංචි වෙනවා. එතන පැල පදියම් වෙනවා. මාරයා එලොවට අදිනවා. මැරෙන්න ඉන්න කෙනා මෙලොවට අදිනවා. අන්තිමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙක දෙලොවටම නැති ඇදිල්ලක් කියල. මෙක ඇදලා ඉවර උනාට පස්සේ එතන ගිහිල්ලා පදිංචි වෙනවා. පැල පදියම් වෙනවා. මනුෂ්‍ය රූපයක් ඇතිව ඉඳලා ඊළඟට ගිහිල්ලා තිරිසනකුගෙ කුසක උපන්නා කියල හිතමු. ඊළඟට අවිද්‍යාව නිසා ඒ ශරීර කූඩුව බදා ගන්නවා. ඒ ශරීරයට අදාල ඉන්ද්‍රියයන් බඳා ගන්නවා. ‘මමය මාගේය’ කියල. ඔන්න ඔය විදියයි. ඕකයි සංසාර ගමන කියල කියන්නෙ. මේ ගමන සැතපුම් වලින්, මීටර් වලින්, මනින්න පුලුවන් ගමනක් නෙවෙයි. ඔය සංසාර ගමන තිබෙන්නෙ මෙන්න මේ දෙක අතරේ. මේ ‘එලොවයි - මෙලොවයි’ කියල ඔය විදියට තමන් අල්ලගන්න තැන. එහෙම නැත්නම් ‘එතනයි - මෙතනයි’ කිව්ව වගේ. දැන් අර මිරිඟුව ගැන කිව්ව අවස්ථාවෙදිත් මුවා මෙතන ඉඳලා එතන පෙනෙන වතුර සොයා ගෙනයි දුවන්නෙ. එතනයි මෙතනයි සම්බන්ධ කිරීමට යෙදෙන්නෙ මොකක්ද? මාන්නය. තණ්හාව කියල කිව්ව නම් අර මෙතන ඉඳලා මුවා ඇතිකර ගන්නා හිතිවිල්ල - තණ්හාව අනුව සිතිවිල්ල ඇතිකර ගන්නවා. ඈත පෙනෙන දෘෂ්ටිය ඒකට උපකාර වෙනවා. මේ දෙක සම්බන්ධ කර ගන්නවා මාන්නයෙන්, “මම එතෙන්ට ගියොත් අර වතුර ටික බොන්න පුලුවන්” කියල.

ඔය විදියට තණ්හා, මාන, දිට්ඨි කියන කෙලෙස් තුන අනුව ලෝක සත්ත්වයා මේ දීර්ඝ සංසාර ගමන යනවා. අපි දීර්ඝ කියල කිව්වට මේක එකතැනම කරකැවිල්ලක් වගේ. එකම තැන කරකැවිල්ලක් වගේ මහ පුදුම තත්ත්වයක් තිබෙන්නෙ. ඉතින් මෙක මේ විදියේ චක්‍රයක් නම් දුවලා බේරෙන්න බෑ. විමුක්තිය ලබා ගන්න බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි ප්‍රකාශ කළේ මේ බඹයක් පමණ ශරීරය තුළ මම ලෝකයත් ලෝකයේ ඇතිවීමත්, ලෝකයෙන් මිදීමත් ඒකට මාර්ගයත් දක්වනවා කියල. මෙකට අර කලින් අපි සඳහන් කළ ආකාරයට මේ ශරීර කූඩුව විනිවිද දකින්ට ඕනෑ. මේ එක එකක්ම විනිවිද දකින්ට ඕනෑ. බුදු පියාණන් වහන්සේ මෙතන උපමා දෙකයි දක්වලා තිබෙන්නෙ. ධර්මයේ දක්වලා තියෙනවා මේ පංචස්කන්ධයටම උපමා. මේ පින්වතුන් කොතෙකුත් අහලත් ඇති අර රූපය පෙණ පිඬකට, වේදනාව දිය බුබුලු වලට - වැසි අවස්ථාවක වතුර වැටෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව නැතිවෙන දිය බුබුලු වගේ. ඊළඟට සංඥාව මිරිඟුව බව කිව්වා. සංස්කාර - සංස්කාර කියන එක අපි තේරුවේ අර නොයෙකුත් චේතනා ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අර ඇදීම්, සූදානම්වීම් මේ සියල්ල. අපි මේක සිතෙනුයි, කයෙනුයි, වචනයෙනුයි - දැන් කඹ ඇදිල්ලේදීත් ඔය වචනය හිටන් යොදා ගන්නවා - කයයි, වචනයයි, සිතයි. මේ ඔක්කොම තුළින් කෙරෙන විශාල ප්‍රයත්නයක් - ප්‍රයත්න රාශියක් - මේ කඹ ඇදිල්ලක් තුළ තිබෙනවා. සූදානම්වීම්, අර ඇඳීම්, රාශියක්. ඒ වගේ මේ සංස්කාර ගොඩක්. මේවයි හරයක් නෑ. නිස්සාරයි. කෙහෙල් කඳකට සංස්කාර උපමා කරලා තියෙනවා. කෙහෙල් කඳක අරටුව සොයාගන්න ගිහින්, මේ අරටුවෙයි කියල මුලින් මේ කෙහෙල්කඳේ ස්වභාවය දැකලා සිනිඳු නිසා හිතා ගන්නවා මේක මේ හොඳ අරටුව ඇති ලීයක් කියලා, පළමු වරට දුටුව කෙනා. නමුත් මේක ටිකක් අතගාගෙන යනකොට, ඉතාම සියුම්ව අත ගානකොට, මෙන්න පොත්තක් විතරයි - මේ අර හොඳට පෙනුනෙ පොත්තක් විතරයි. අරටුව නොවෙයි. ඒක අහක් කරනවා. ඔන්න දැන් තියෙන්නෙ අරටුවෙයි කියල. ඒකත් පොත්තක් විතරයි. ඊළඟට ඒකත් අහක් කරනවා. ආ ඒකත් පොත්තක් විතරයි. අන්තිමට බඩේට යනවා. එතනත් නෑ. එතනත් නෑ හරයක්. ඒක තුළත් තිබෙන්නෙ පොතු රාශියක්.

ඔන්න ඔය විදියට මුළු මහත් සංසාරයෙම, එතකොට පින්වතුනි, අපි මේ කරලා තිබෙන්නෙ පොතු ගහන එක. අරටුවක් ලැබිලා නෑ. අරටුවක් සොයාගෙන පොතු ගහ ගෙන ගිහිල්ලා තියෙනවා. මේකයි . සංස්කාර - ‘සංඛාරපරමා දුක්ඛා’ කියල බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. ලෝකයේ තියෙන ඉතාම සියුම්ම දුක සංස්කාර දුකෙයි කියල. සාමාන්‍යයෙන් අපි දුකෙයි කියල කියන්නෙ අපේ හිතවත් කෙනෙක් නැති උනහම, අසනීප උනහම, ලෙඩ උනහම, කන්න බොන්න දෙයක් නැති උනහම් - ඔවා තමයි දුක කියල කියන්නෙ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා දුකෙත් සියුම්ම මට්ටම නමයි සංස්කාර. ඕක විදර්ශනා යෝගියාටයි වැටහෙන්නෙ. ක්‍රම ක්‍රමයෙන් මේකෙ දුක වැටහෙනවා. දුක නැතිකරන්න නම් - දැන් රෝගයක් නැතිකරන වෛද්‍ය වරයෙක් මොකද කරන්නෙ? රෝගයේ ඉස්සෙල්ලම අර බාහිරව පෙනෙන ලක්ෂණ - ටිකක් ඔය උණ තියෙනවා නම් ටිකක් වේදනාව තියෙනවා නම් - ඒවා මර්දනය කරනවා. නමුත් රෝගය සුව උනා නොවෙයි. රෝගයට හේතු වුනු ඒ මූල නිදානයටම බෙහෙත් කරන්ට ඕන. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේත් මේ රෝගයේ නිදානයම සොයා ගෙන ඒ හේතුවත් ඉවත් කළා. ඒ නිදානය තමයි තණ්හාව කියන එක. තණ්හාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. මේ තණ්හාව නිසා තමයි අල්ල ගන්නෙ. දැන් මේ ගොඩවල් පහම දුකක් වෙන්නෙ මක් නිසාද? ඒවා අල්ලගෙන නිසා - අල්ලගෙන ඉන්න නිසා. අල්ලගෙන ඉන්නතාක් තමයි ඒක දුක. අතහැරියාම එතන දුකක් නෑ. නමුත් ලෝක ස්වභාවය මේ එක එකක්ම අල්ලගෙන ‘මෙය මමය’ ‘මාගේය’ කියල කීම. අල්ල ගන්නවා කියල කියන්නෙ අතහරින්න අකැමැති බව. අල්ලගෙන ඉන්නවා කියල කියන්නෙ අතහරින්න අකැමැති බව. ඒක හෙළිවෙන්නෙ - දැන් මේ එක එකක්ම පිළිබඳව දෘෂ්ටි වශයෙන් ගන්නවා සාමාන්‍ය ලෝකයා. රූපය, එක්කෝ “රූපය මගේය” කියල කියනවා. රූපයත් ඔබත් අතර සම්බන්ධය මොකක්ද කියල අහුවොත් කෙනෙක්, කියනවා ‘මේ රූපය මගේය’ කියල. යම්කිසි ආකාරයකින් ඒකට තර්කානුකූලව පෙන්නුවොත් ඒක එහෙම වෙන්න බෑ කියලා. “නෑ නෑ පොඩ්ඩක් වැරදුනා, මම රූපය ඇති කෙනෙක්.” එහෙම නැත්නම් “මා තුළ රූපය තිබෙනවා.” එහෙමත් නැත්නම් “රූපය තුළ මා ඉන්නවා.” ඔය විදියට. එයින් පෙන්නුම් කරන්නෙ මොකක්ද? රූපය අතහරින්න කැමති නෑ. ඒකේ කොහොමහරි එල්ලිලා ඉන්නවා අර හතර ආකාරයකින්. ඔය විදියට විසි ආකාරයකින් එල්ලීම තමයි ඔය සක්කාය දිට්ඨිය කියල කියන්නෙ. දෘෂ්ටිය කියල කියන්නෙ.

ඉතින් ඔය අතහරින්න අකැමැති බව - තණ්හාව නිසා ඇතිවන දෙයක් ඒක. තණ්හාව නිසා උපාදානය. අල්ලගත්තට පස්සේ අන්න අර කඹ ඇදිල්ල කියන එකයි සිද්ධ වෙන්නෙ. ඉතින් ඔය විදියට සංස්කාර කෙහෙල් කඳකට උපමා කරලා තිබෙන්නෙ මක් නිසාද? “බුදු පියාණන් වහන්සෙ සංස්කාර කෙහෙල් ගහට උපමා කරලා තියෙනවා. අපේ වත්තෙ තියෙනවා කෙහෙල් ගස් කොතෙකුත්. එතකොට මට සංස්කාර තේරුම් ගන්න බොහොම පහසුයි.” කියල කෙනෙක් හිතුවොත් වැරදියි. මෙක ගැඹුරින් සලකලා බලන්න ඕන. ඒ විදියටයි සංස්කාර. විඥාන කියන එක ඊටත් වඩා සියුම් දෙයක්. විඥානය මායාවකට උපමා කරලා තියෙනවා. මායාව කියන්නෙ මේ කාලේ හැටියට කියතොත් විජ්ජාවක්. මේ කවුරුත් විජ්ජා සංදර්ශන දකින්න කැමැත්තෙන් යනවා. යන්නෙ මොකටද? රැවටෙන්න. නිකම්ම නෙවෙයි මුදලුත් ගෙවල රැවටෙන්නයි. නමුත් මේක - මේ රැවටිල්ල - කවදත් සංසාරේ කෙරෙනව. මේකට අමුතුවෙන් මුදල් නොගෙව්වත්. මේ රැවටිල්ල තමයි විඥානය කියල කියන්නෙ. මොකද විඤ්ඤාණයේ ස්වභාවය නැති දෙයක් ඇති හැටියට පෙන්නුම් කිරීම. ඒක බුදු පියාණන් වහන්සේ උපමාවකට දක්වලා තිබෙන්නෙ සතරමං සන්ධියක විජ්ජා කාරයෙක් විජ්ජාවක් දක්වීමේදී මවා පෙන්නනවා. ඇති හැටියට පෙන්නනවා නැති දේවල්. ඒ මුළාවෙන අය ඒක දැකලා ආ! ඕව්! සූ! කියලා සතුටු වෙනවා. නමුත් මෙතන ඇති දෙයක් නෑ. නිස්සාරයි. ඔන්න ඔය සාරයක් නැත. අරටුවක් නැත කියන අවබෝධය තමයි අවසානයේදී කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ නිවන හැටියට දක්වන්නෙ. සාමාන්‍ය ලෝකයා හිතාගන්නෙ මේ නිවන කියන එක යම්කිසි අමුතු ලෝකයක් හැටියට. අර මාරයාට නොපෙනෙන තැන ඕකයි. මාරයාට නොපෙනෙන තැන කියල කිව්වේ ඒ චිත්ත තත්ත්වය. ඒ කියන්නෙ කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ලෝකෝත්තර තත්ත්වය මේ ජීවිතයේදී ලබා ගත්තා නම් අර්හත්වයෙන්, ඒ තැනැත්තාගේ මරණ අවස්ථාවේදී මාරයා අදිනකොට තමන් මේ පැත්තට අදින්නෙ නෑ. ඒ වෙනුවට මාරයා අදිනවා නම් “මේක ඔබේ නම් ගන්න” කියල වගේ අතහරිනවා. අත හරිනකොට අර ශෝක සන්තාප, විලාප කිසිවක් නෑ. ඔතනයි ඕකෙ රහස තියෙන්නෙ. මහ පුදුම විසඳුමක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ - අදිනකොට අතහැරීම.

මේ අතහැරීම මෙලොවම පළමුවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෑ. ඒ ප්‍රත්‍යක්ෂ කර ගන්න මාර්ගය නමයි විදර්ශනා ඥාන කියල කියන්නෙ. අර අනිත්‍යතාව තුළින් මේක දකින්නෙ. අනිත්‍යතාව කියන වචනය තුළ මහා ගැඹුරක් තියෙනවා. අනිත්‍යතාව කියල කියන කොට අපි මේක ටික කලක් තිබෙනවා කියල හිතා ගන්නවා. අවුරුද්දක් නෙවෙයි මාසයක්. මාසයක් නෙවෙයි දවසක්. ඔය විදියට අන්තිමට බලන කොට මේකත් විනිවිද දකින්න සිද්ධවෙනවා. ඇතිවීම නැතිවීම දෙක තුළින් ඒක ප්‍රත්‍යක්ෂයට නැගෙන්නෙ කොහොමද? මේ ඇතිවීම් වලට වඩා වේගයෙන් ඒ දෙක බලමින් සිටිය කෙනාට මේවා බිඳෙමින් යනවා පේනවා. දැන් අර ස්වාමීන් වහන්සේ අර පෙණ පිඬ දැකලා මේ ශරීරයට උපමා කළේ මක් නිසාද? උන්වහන්සේට පෙනී ගියා මේ ශරීරය ඇතිවෙනවාටත් වැඩිය වේගයෙන් වගේ මේක බිඳිලා යනවා. ඒ තරමට මේක නිතර නිතර බිඳී යන දෙයක්. මේ බිඳී යන ස්වභාවය සාමාන්‍ය පියවි ඇසට පෙනෙන්නෙ නෑ. අර අපි කලින් සඳහන් කළ ආකාරයට මෙක අණුදක්න ආදියෙන් දැක්කත් ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඒක විද්‍යාගාරයේදී දැක්කත් ගෙදර අවට පස්සේ මතක නෑ. ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්ට ඕනෑ ප්‍රත්‍යක්ෂ වෙන්ට නම්. මේක අර සමාධියෙන්, උපේක්ෂාවෙන්, ඒකාග්‍රතාවෙන්, සකස් උනු සිතටයි පේන්නෙ. මාරයාගේ මල්සැර කපා හරිනවා කියල කිව්වේ ඒකයි. අර මෙනෙහි කිරීම් තුළ තිබෙන්නෙ මෙන්න මේ දෙකයි. උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. සමාධිය තුළින් ලබාගන්න ඒකාග්‍රතාව. ඒක තුළින් අර සිත ශක්තිමත් වෙනවා. තියුණු වෙනවා. පිහියක් උනත් මොට්ට පිහියකින් කපන්න බෑ නෙ. ඒක හොඳට තියුණු කරගන්ට ඕනෑ. තියුණු කරගෙන - ඊළඟට අර උපේක්ෂාව. ඒක හරියට එල්ලකර, එතන නොසැලී, නොවිසිරී,තබාගන්න ආකාරයක් තියෙනවා උපේක්ෂාවෙ. ඔන්න ඔය දෙක තුළින් තමයි අර විදර්ශනා ප්‍රඥාව මතුකර ගන්නෙ.

ඒ ප්‍රඥාවෙන් ක්‍රමානුකූලව ඉස්සෙල්ලම අර ඇතිවීම් නැතිවීම් දෙක. ඊළඟට ඒක තුළින් බිඳී යනවා, ශීඝ්‍රයෙන් බිඳී යනවා, පෙනවා. බිඳී බිඳී යනකොට තේරෙනවා මේ බිඳී බිඳී යන දේ මම මෙකටද අල්ල ගන්නෙ කියල. බිඳී බිඳී යන දෙයක් - අපි හිතමු දිරච්ච වැටක් - දිරච්ච වැටක් අල්ල ගත්තට පස්සේ වැටත් එක්කම වැටෙනවා. ඒ වගේම දෙදරන දෙයක්, කම්පනය වන දෙයක් අල්ල ගන්නතහම තමන්ටයි එයින් පීඩාව. ඒ වගේ බුදු පියාණන් වහන්සේ වදාළා මේ එක එකකම - රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ මේ හැම එකකම - තියෙනවා කියල කම්පන රාශියක්. කම්පන හැටියට සලකන්න පුළුවන් අර සංස්කාර කියල කියන එක. අර අල්ලගත්තු අර ඇදීම්, සූදානම් වීම්, බලාපොරොත්තු, චේතනා, ප්‍රාර්ථනා රාශිය නිසාම තමයි අර කම්පන ආදිය ඇති වෙන්නෙ. ඒ මානසික ගැටුම තුළින් මිදීමයි විමුක්තිය. මේ නිවන අපි ළහම තියෙනවා කියල කියන්නෙ ඕකයි. මෙක ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්, අවබෝධය - ප්‍රඥාව තුළින්. මෙක නිකම් ප්‍රඥාවක් නෙවෙයි. මෙක ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රමානුකූලව යම්කිසි කර්මස්ථානයක් තුළිනුයි. අපි හිතමු දැන් අර කය පිළිබඳව කලකිරීමට, කෙස්, ලෝම්, නිය, දත්, ආදි යම්කිසි කොටසක් නිතර භාවනා මනසිකාරයට යෙදාගෙන ඒ තුළින් සමාධි මට්ටමක් ඇතිකර ගත්තා නම්, ඒකෙන් අර කලින් අපි සඳහන් කළ ‘විපල්ලාස’ කියල කියන විපරිත අදහස් ඉවත් වෙනවා. සුභ සඤ්ඤාව ඉවත් වෙනවා. ඒක පිළිබඳ ඇල්ම නැති වෙනවා. ඒ වෙනුවට ඒකේ යථා තත්ත්වය අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ විදියට ඒක අශුභ හැටියට මෙනෙහි කරනවා. එහෙමත් නැත්නම් ධාතු හැටියට මේ හැම එකක්ම - මේ ශරීර කූඩුවට අනුබද්ධ වන දේවල් - ඒ වගේම අවට තියෙන දේවල් අර පඨවි, ආපෝ, තේජෝ වායෝ, කියන මේ මහ පොළොවේ වතුරෙහි ගින්නෙහි හුළඟෙහි අපි දකිනවා යම්කිසි ලක්ෂණයක්. මේකත් ගති ස්වරූප පමණයි. මේවත් අපි හඳුනාගන්නෙ අර අන්ධ පුද්ගලයා අතපතගාලා දැනගන්නවා වගේ. අපි මේක මේ පඨවි ධාතුවද කියල දැනගන්නෙ මේක තද නිසා. ඒකත් මේ ශරීරයට දැනෙන්නෙ. ශරීරය තුළිනුයි අපි ඒක අවබෝධ කර ගන්නෙ මේක තද දෙයක් කියල. මේක වැගිරෙන සුළු දෙයක්ද? මේක උණුවෙන, උණුසුම් ඇති දෙයක්ද? මේක හෙලවෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය ඇති දෙයක්ද? මේ ධාතු හතර අපේ මේ ශරීරය තුළ තිබෙනවා. පඨවි ධාතුව වැඩියෙන් පවතින කොටස් හැටියට සලකුවොත් කෙස්, ලෝම්, නිය, දත් ආදී ඒවායි. මේ තද බව පිළිබඳව හැඟීම මතුකර ගන්න පුළුවන් ඒවා තුළින්. ඒවා අල්ලනකොට තදබවක් තියෙනවා. තද බුරුල් ආදිය. ඒ වගේම මේ වැගිරෙන ස්වභාවය. දියාරු ස්වභාවය. කෙළ, සෙම්, සොටු, මුත්‍රා ආදි ඒවායේ අපට දැනෙනවා මේ ශරීරය තුළ ආපෝ ධාතුවත් තියෙනවා. ඊළඟට කුසගින්න තුළින්, උණ ගැනීම් ආදිය තුළින් දන්නවා මේ තේජෝ ධාතුව. ඒ වගේම වායෝ ධාතුව මේ අශ්වාස ප්‍රශ්වාසයෙන්. ඉතින් මෙන්න මේවා තුළින් ඔය බුදු පියාණන් වහන්සේ නිවන මතුකර ගන්න මාර්ගය දක්වුවේ. වෙන කොහෙවත් යන්ට දෙයක් නෑ. මේ ශරීරය තුළම. ශරීරයත් ඊළඟට අප අවට තියෙන මේ ගසුත් බණ කියනවා. මේ විදියට මේ සැරසිලා කිව්වේ නැතිවුනාට මොකද මේ ගස්, කොළ, මල්, ගෙඩි, මේ හැම එකක්ම බණ කියනවා. නමුත් ඒවට කන් දෙන්නෙ නෑ. බුද්ධ කාලයේ නම් ඒ අය කන් දුන්නා ඒවට. ඒ විදියට තමයි අතීතයේ සංඝයා වහන්සේලා අර කැලෑවකට ගියාම ඒ විවේක කාලය තුළ ඒ තියෙන පොත් කියවනවා. ගස්වල තියෙනවා බණපොත්. ගංගාවල තියෙනවා බණ. ඒව තමයි මේ මෙතනුත් දක්වුවෙ. ඒ සංඝයා වහන්සෙ ඒ ගංගාවේ ගලාගෙන යන බණ පොතක් කියෙව්වා. ඔන්න ඔය විදියට මේ ලෝකයේ යථා තත්ත්වය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය කොතෙකුත් දකින්න ලැබෙනවා. ඒවා තුළින් මේව මතුකර ගැනීම විදර්ශනා ප්‍රඥාවට අයිති දෙයක්. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මාර්ගයේ ගමන් කරන්න ඕනෑ.

  මේ විදියට කල්පනා කරලා බලනකොට මේ හැම එකක්ම සංස්කාර. මේ ශරීර කූඩුව පිළිබඳව තියෙන ඇලුම් නැතිකර ගැනීමෙන්, මේක විනිවිද දැකීමෙන්, තමයි අර මාරයාට නොපෙනෙන තැන කියල දක්වන ඒ උතුම් උත්තරිතර ලෝකෝත්තර තත්ත්වය - නිවන - ඒ විමුක්තිය - කෙනෙකුට ප්‍රත්‍යක්ෂකර ගන්ට පුළුවන් වෙන්නෙ. මේ ලෝකයේදීම සිත ඒ විමුක්ත තත්ත්වයට පත්කර ගත්තා නම්, ඒ තැනැත්ත තමයි නිවුනා කියල කියන්නෙ. ඒ නිවීම. එතෙක් තිබෙන්නෙ දැවීමක්. අන්න ඒ නිවීම ප්‍රත්‍යක්ෂකර ගැනීම තමයි මේ ධර්මයේ පරමාර්ථය. එතකොට මේ පින්වතුනුත් කල්පනා කරගන්න ඕන එදිනෙදා ජීවිතයේදී, මේවා කල් දමන්නෙ නැතිව, මේවා අපේ මේ ශරීර කූඩුව - අපි නිතරම ගෙනයන මේ ශරීර කූඩුව - තුළම තියෙනවා. වෙනෙකක් තබා හැම බුදුවරයකුටම බුදුවීමට උපකාරීවුණු මේ ආනාපාන සති භාවනාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන තියෙන්නෙ මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයයි. මේ අශ්වාස ප්‍රශ්වාස කියන ධර්මතාව ගැන ටිකක් කල්පනා කරල බැලුවොත් අපට මෙක හිතාගන්න පුළුවන්. මේ නිෂ්ඵල දීර්ඝ දිගැති සංසාර දිවිල්ල තුළින් ඇතිඋන හතිය වගෙයි මේ අශ්වාස ප්‍රශ්වාස දෙක. ඇත්ත වශයෙන්, පින්වතුනි, ආනාපාන සතිය කියල කියන්නෙ හතිය නෙවෙයි. වරදවල වටහ ගන්න එපා. සතිය කියල කියන්නෙ සිහියයි. නමුත් ආනාපානය කියල කියන අශ්වාස ප්‍රශ්වාසය හරියට මේ සංසාර දිවිල්ල තුළ ඇතිවෙච්ච ජවය, හතිය, පෙන්නුම් කරන දෙයක්. මේක තුළ ගැබ්වෙලා තිබෙනවා මේ සංසාර දුක පිළිබඳ පණිවිඩය. ඒකයි මේ ආනාපාන සතියෙන් බුදු වෙනවා කියල කියන්නෙ. මේ අශ්වාස ප්‍රශ්වාසය තුළ කායානුපස්සනාව කියල කියන කය අනුව බැලීමේ සතිපට්ඨානයත් තියෙනවා. වේදනානුපස්සනාව කියල කියන වේදනාව පිළිබඳව අවබෝධ කර ගැනීමේ ශක්තියත් තියෙනවා මේ අශ්වාස ප්‍රශ්වාසය තුළම. සිතෙහි, චිත්තාචාරය, සිත හැසිරෙන ආකාරය, අවබෝධ කරගැනීමේ රහසත් මේ ආනාපානය තුළ තිබෙනවා - අශ්වාස ප්‍රශ්වාස දෙක තුළ. ඊළඟට ධම්මානුපස්සනාව කියල කියන ඒ සිතට එන අරමුණු පිළිබඳව, ඒවායේ යථා තත්ත්වය අවබෝධ කරගැනීමේ ශක්තියත් තිබෙනවා.

ඒ අනුව අපට කල්පනා කරලා බලනකොට මේ සංසාර ජවයේ ‘හතිය’ වගේයි මේ අශ්වාස ප්‍රශ්වාස දෙක. මේ ‘හතිය’ සංසිඳවා ගැනීමයි - දිවිල්ල නතර කරලා එක තැනක වාඩිවෙලා මෙන්න මේ අශ්වාස ප්‍රශ්වාසයට - හිත යෙදීම කියල කියන්නෙ, පින්වතුනි, මේ සංසාරික ජවයේ ඇති මේ අරගෙන ආපු ‘හතිය’ අරගන්නෙ එකයි. මේ හතිය අරගන්නෙ මේ අශ්වාස ප්‍රශ්වාසය සියුම්කර ගැනීමෙන්. උත්සාහ කරලා නෙවෙයි. සන්සුන්ව ඉඳගෙන ඒකට හිත යෙදෙන කොට, මෙක නොසන්සුන් වෙන්නෙ විතර්ක ආදියෙන් - සිතිවිලි වලින්. හිත දුවනවා. හිත අර කලින් අරගත්තු කෙලෙස් අරමුණුවලට දුවන ස්වභාවයක් තියෙනවා. ආනාපාන සති භාවනාවට එකපාරටම ඉඳගත්තු කෙනාට ඒක එපාවෙන තරමට මේ විතර්ක ජාලාවල් ගලාගෙන එනවා. නමුත් ක්‍රමානුකූලව ඒකට උපකාර වෙන අර මූලික කර්මස්ථාන හැටියට දක්වන බුද්ධානුස්සති, මෛත්‍රි, අශුභ, මරණසති කියන ඒ චතුරාරක්ෂාව එහෙම වඩලා, ක්‍රමානුකූලව වඩලා, ආනාපාන සතියට ඉඳගත්තු පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කරන්නෙ මොකක්ද, අර අශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමෙන්, සියුම්ව මෙනෙහි කිරීමෙන්, එහෙම නැත්නම් ඒකේ සතිය පිහිටුවීමෙන්, ඒ තුළ සතිය රැඳවීමෙන්, විතර්කවලට ඉඩ නොතැබීමෙන්, මාරයාගේ ඊතල කපා හැරීමෙන්, අන්න ටිකෙන් ටික අර අශ්වාස ප්‍රශ්වාසය සංසිඳවනවා. සංසිඳෙනවාත් එක්කම වැටහීම් නුවණ, ප්‍රඥාව තියුණු වෙනවා. අන්න ඊළඟට විදුරුමිණ වගේ, වජ්‍ර මාණික්‍ය වගේ, වෛරෝඩිය වගේ, අර විදර්ශනා ප්‍රඥාව ක්‍රමානුකූලව උදයබ්බය, භංග ආදී වශයෙන් වැඩිල ගිහිල්ල තමයි යම්කිසි අවස්ථාවක මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, මේ අශ්වාස ප්‍රශ්වාස ගැනීමේ ඔරොත්තය, මේ සූදානම, අර ඇඳීම, තුළ තියෙන සියුම් සංසාරික බන්ධනය අවබෝධ කරගෙන යම්කිසි අවස්ථාවක අර සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියල කියන මාර්ගවල ප්‍රතිවේධයෙන් කෙනෙකුට පුලුවන් වෙනවා මෙන්න මේ ශරීර කූඩුවෙන් මිදිලා අර විමුක්ත සිත ඇතිකර ගන්න.

ඒ විමුක්ත සිත ඇතිකර ගත්තා නම් ඒ තැනැත්තා - එතන ඉඳලා ඒ තැනැත්තාගේ ජීවිත කාලය අතීතයේ එකතු කරගත්තු කර්ම වේගවලට අනුව ගෙව්වට මොකද, මරණ අවස්ථාවේදී අර මාරයා අදිනකොට කම්පනයක් සිදුවන්නෙ නෑ. බුදු පියාණන් වහන්සේගේ පිරිනිර්වාණය ගැන සඳහන් කරනකොට සමහර කෙනෙක් වරදවලා වටහා ගන්න පුළුවන් මාරයා ඇවිල්ල ආරාධනා කළාය ඒක නිසා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවයි කියල. නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන්පෑව අවස්ථාවේදී ඒ සිත සම්පූර්ණයෙන්ම විමුක්ත සිතක් නිසා ඒකෙන් ශාන්තිය ලබාගෙන ශාන්ත තත්ත්වයකිනුයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. අන්න ඒ ශාන්තිය සාමාන්‍ය ලෝකයේ ලෝක සත්ත්වයා තුළ නෑ. කෙනෙක් මැරෙනකොට වද වේදනා රාශියක් මධ්‍යයේ විලාප තියලා, ඒ තමන්ගේ ඥාතීන් පිළිබඳ සිතිවිලි අරගෙන ඊළඟට මැරිලා ගිහිල්ලා නැවතත් උපදින්නෙ කර්මානුරූපව තවත් තැනක. ඉතින් ඒක ඒ විදියට දිගින් දිගට මේ සංසාරයේ යනව. ඕකට තමයි ධර්මයේ දක්වන්නෙ කම්ම වට්ට - කිලෙස වට්ට - විපාක වට්ට කියලා. අර මාරයා විදින ඊතල වලට, මල්සැරවලට, අහුවෙලා නොයෙකුත් විදියේ කර්ම රැස්කර ගන්නවා. ඒ කර්මවල විපාක වශයෙන් ඊළඟට ශරීර කූඩු ඇතිවෙනවා. අර අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ඇතිකරගත්තු ඒ ශරීර කූඩු. ඇතිවෙන ඇතිවෙන ශරීර කූඩුව නිසා අන්න මාරයාට හොඳ විනෝදයක්. මාරයා අදිනවා. ඊළඟට අදිනකොට ශෝක, සන්තාප, භය, සංතාස මධ්‍යයේ විලාප තියාගෙන මැරෙනවා. ඔන්න ඕකයි දුක කියල කියන්නෙ. මේ ‘මාරයා’ කියන මේ වචනය යොදන්නෙ මොකටද? මේ ලෝකයා තුළ ගැබ්වෙලා තියෙන, තමන් අඳුනාගත්තෙ නැති අවිද්‍යාවත්, තෘෂ්ණාවත් මේ දෙක තමන්ට හිතට වැටහෙන ආකාරයට අරමුණු කරගෙන මේ නිර්වාණ ගමන, නිවන දක්වා යන ගමන, කරගෙන යාමටයි බුදු පියාණන්වහන්සේ බොහෝ අවස්ථාවල්වල මේ ‘මාර’ කියන වචනය යෙදලා තිබෙන්නෙ. මාර දිව්‍ය පුත්‍ර කියල කොටසකුත් සිටිනවා. නමුත් මෙතන මේ තිබෙන්නෙ, මේ බොහෝවිට යෙදෙන්නෙ, මාරයා - කෙලෙස් මාරයා - කියල යොදන්නෙ, ඒක අර හිතට වැටහෙන ආකාරයට, ඒ විදියේ යම්කිසි ධර්ම අරමුණක් වත් ඉදිරිපත් කළේ නැත්නම් උත්සාහ වන්නෙ නැති නිසා.

මධ්‍යම ප්‍රතිපදාව කියල කියන්නෙ මේක මැදුම් මාර්ගයක්. නිකම්ම ඉඳලා හරියන්නෙත් නෑ. දැඟලලා හරියන්නෙත් නෑ. බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ල ඇහුවා “නිදුකානෙනි ඔබ කොහොමද මේ සැඩ වතුරින් එතෙර උනෙ” කියල. සැඩ වතුර කියල කිව්වේ මේ සංසාරික කෙලෙස් සැඩවතුර. මේ සැඩවතුරින් එතෙර උනෙ කොහොමද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. “මම නොනවතිමින් නොදඟලමින් සැඩ වතුරින් එතෙර උනිම්” කියල. නැවතුනත්, දැන් සැඩ වතුරට අහුවෙච්ච පුද්ගලයා කරකියා ගන්න දෙයක් නෑ කියල එක පාරටම නැවතුනොත් ඒත් මරණය. දැඟලුවොත්- ඒත් මරණය. ඒ වෙනුවට ඒ සැඩවතුරින් බේරීම සඳහා ක්‍රමානුකූලව නුවණින් උත්සාහයක් දරනවා. ඒ විදියේ මාර්ගයක් තමයි බුදු පියාණන් වහන්සේ විදර්ශනා මනසිකාරය හැටියට දක්වුවෙ.

අන්න ඒක නිසා මේ පින්වතුන් අද මේ වටිනා පෝය දවසෙ තමන්ගේ මේ සංසාර දුක කෙළවර කර ගැනීමට උපකාර වෙන ඒ බුදු පියාණන් වහන්සේගේ බණ පදයක් ආශයෙන් යම්කිසි විග්‍රහයකට, විවරණයකට කන් දුන්න. තමතමන් කල්පනා කරන්ට ඕන. මේවා මේ ‘බණ ඇසීම’ කියල සාමාන්‍යයෙන් අහලා, මෙයින් නවතින්නෙ නැතිව, එදිනෙදා ජීවිතයේ හැකිතාක් දුරට ක්‍රියාවට නගන්න ඕන කල් දමන්නෙ නැතිව. එදිනෙදා ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි අන්දමටයි බුදු පියාණන් වහන්සේ මේවා දක්වා වදාළේ. සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්වතුන් පින්වතියන් - උපාසක උපාසිකාවන් - බුද්ධ කාලයේත් ඉන් මෑතත් මේ ධර්ම මාර්ගයට නැඹුරුවෙලා ක්‍රමානුකූලව භාවනාව වඩලා සමහරවිට සංඝයා වහන්සේලාටත් කලින් මේවා ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි බව ඒ ධර්ම කථාවල සඳහන් වෙනවා. ඒක නිසා මේ පින්වතුන් උත්සාහවත් වෙලා අද දින මේ දක්වූ ධර්ම කාරණා මේවා ඥාන සම්භාරයක් හැටියට තැන්පත් කරගන්න නෙවෙයි විදර්ශනා වශයෙන් තමන්ගේ අර වජ්‍ර මාණික්‍ය තියුණු කර ගැනීමට - විදර්ශනා ප්‍රඥාව දියුණුකර ගැනීමට - මේවා උපකාරයක් කරගෙන මේවායේ ප්‍රායෝගික අගය ගැන කල්පනා කරලා මෙයින් ප්‍රයෝජන ගන්නවා ඇතැයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

එතකොට අද වැනි දවසක මේ පින්වතුන් සුළු කාලයක් නමුත් ධර්ම ශ්‍රවණය කළා. ඒ තුළ තිබෙන්නෙ තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ඒ ශ්‍රද්ධාව අනුව ගිය වීර්යයත්, ඒ වීර්යය අනුව මේ මතුකර ගත්තු සතිය කියල කියන සිහියත්, ඒ සිහිය අනුව ඇතිකර ගත්තු සමාධියත්, ඒ සමාධිය තුළින් යම්කිසි වැටහීමක් ඇතිවුනා නම් ඒ ප්‍රඥාවත්, කියන ඒ තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්ට පුලුවන් මේ ධර්මයේ කොටස්- වටිනා ඉන්ද්‍රිය ධම්, බලධම් - පිළිබඳව යම්කිසි හැඟීමක් ඇතිකර ගන්න පුළුවන් උනා. අද දින එතකොට මේ පින්වතුන් සතුටුවෙන්ට ඕන මේ විදියට මේ දරණ ප්‍රයත්නය තුළින් තමයි අපට යම්කිසි දවසක මේ භයානක සංසාරයෙන් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ශෝක සංතාප ආදී මේ හැම එකකින්ම මිදිලා උතුම් වූ අමාමහ නිවන සාක්ෂාත් කර ගන්ට පුළුවන් වෙන්නෙ. ඒ ශාන්තිය මේ පින්වතුන්ටත් මේ ජීවිතයේදීම කල් නොයවාම ලබාගන්ට ශක්තිය බලය ලැබේවා! කියල හොඳින් හිතාගන්ට ඕන. ඒ වගේම මේ ශාසනික වැඩ කටයුතු වලට නිති පතා - අපට නොපෙනෙන නමුත් - අතදී ඒ කටයුතුවලට උපකාර කරන ඒ දිව්‍ය බ්‍රහ්ම රාජයන් ඇතුළු ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් අපේ මේ ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුශලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී ශාසනයට ද අපට ද ආරක්ෂාව සලසමින් තම තමන්ගේ ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා! ඒ වගේම අවීචියේ පටන් අකනිට්ඨාව දක්වා අපගේ ඥාතීන් ඇතුළු යම්තාක් පින්කැමති නිවන් කැමති සත්ත්වයෝ වෙත්ද ඒ හැම දෙනෙක්මත් මේ ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුශලය අනුමෝදන් වී මේ භයානක සංසාරෙන් අත්මිදී උතුම් වූ අමාමහ නිවනින් සැනසෙත්වා! යි කියන ප්‍රාර්ථනය ඇතිකරගෙන මේ ගාථා කියල පින් පමුණුවන්න.

‘එත්තාවතා ච අම්හේහි…….’